✿ 03

රැකියාව භාර ගත්තු දවසේ ඉදන් ඉදිරියට සතියක් විතර යනකම් මගේ මුලු දවසම වගේ ගෙවුනේ ඒ උපස්ථානාගාරය ඇතුළේ.

තුන් මහල් ගොඩනැගිල්ලේ අංශ දහයක වාට්ටු විසි දෙකකම වගකීම පැවරිලා තිබුනේ මට.

හතර පැත්තෙන් ම අහස උසට නැගුණු තාප්පයකින් වට වුණු ඒ සීතල ගොඩනැගිල්ල අස්සේ සතුටු වෙන්න කිසිම හේතුවක් නැතිව වුනත් සින්දු කියමින් හිනා වුනු මිනිස්සු හිටියා.

ඒ අතරේ හිටියා අහළ පහළින් කඩා ගත්තු ගස්කොළ මල් එකතු කරලා පරිස්සමට හදාගත්තු කැළෑ මල් පොකුරකුත් අතේ තියාගෙන උද්‍යානයේ බන්කුවක වාඩිවෙලා තමන්ව දාලා ගිය ආදරවන්තිය එනකම් ඉර පායන වෙලේ ඉදන් කලුවර වැටෙනකම්ම බලාගෙන උන්නු ආදරවන්තයෙකුත්..

තමන්ගේ බිරිදව වද දීලා මරණ හැටි බලාගෙන ඉන්න වුණු,ඒත් ඇයව බේරගන්න ඉඩක් නොලැබුනු දුකට වේදනාවෙන් උමතු වුනු සැමියෙක්....

ඒ වගේ ම තමන් හදවතින් ම ප්‍රේම කරපු යුවතියව දෙමාපියන්ගේ කීමට අතාරින්න වුනු නිහඩ ආදරවන්තයෙකුත් ඒ අතරේ උන්නා.

මියගිය ප්‍රේමවන්තිය තමන් ගාව ඉන්න බව කියමින් හිස් අවකාශය එක්ක හිනා වෙමින් කතා කරන තරුණයෙක් වගේම කඩාගෙන වැටුනු ගෙට යට වෙලා මුලු පවුලම මිය යද්දි මේ ලෝකේ තනියම ඉතුරු වුණු ගොලු දරුවෙකුත් හිටියේ මගේ රෝගින් අතරේමයි.

ඒ හැමෝටම අනන්‍ය වුනු මොකක් හරි දෙයක් තිබුනා එයාලා දිගින් දිගටම කරපු.එක්කො හිනා වෙනවා,නැත්නම් අඩනවා,ඒත් නැත්නම් කල්පනා කරනවා,අරමුණක් නැතිව ඇවිදගෙන යනවා..එහෙමත් නැත්නම් කාමරය අස්සේ ගුලි වෙලා නිදාගන්නවා..රණ්ඩු වෙනවා,කෑ ගහනවා,බලාගත්තු අත බලාගෙන ඉන්නවා වගේ දාහක් දේවල්..

ඒත්..

ඒ අතරේ එක්කෙනෙක් හිටියා මේ හැමෝටම වඩා විශේෂ..

මං ඔහුව දැක්කේ මං එතන සේවයට ගිහින් හත්වෙනි දවසේ.අවුරුදු විසි අටකට නොවැඩි වුනු ඔහුට තිබුනේ කඩවසම් රූපයක්.අනිත් හැමෝම මැද්දේ සුදුපාටම කලිසමකිනුයි අත් දිග ලිහිල් කමිසයකිනුයි සැරසිලා හිටපු ඔහුගේ කොණ්ඩය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැවිලා තිබුනේ කලු පාට දිලිසෙන කෙස් රැළි ගෙලේ ගෑවෙන විදිහට.

ඒත් ඔහුගේ තිබුනු විශේෂත්වය ඔහුගේ මේ කඩවසම්බවවත් පිළිවෙළවත් නෙමෙයි.

මං ඔහුව දැක්කේ ඩොක්ටර් මින් එක්ක හයවෙනි වාට්ටුවට ගිහින් එන අතරමගදි.ඔහු හිටියේ ඔහුගේ කුටියේ..යකඩ කූරුවලින් ආරක්ශා කරපු ජනේලයෙන් පිටත බලාගෙන..ඒත් අනිත් කුටි වගේ ඒකුටියේ දොර වහලා තිබුනේ නෑ.

"එයා කවදාවත් ඒ කාමරෙන් එළියට ඇවිත් නෑ...එන්න උත්සාහ කරන්නෙත් නෑ..."

ඩොක්ටර් මින් (යූන්ගි) කිව්වේ මං ඒ තරුණයාගේ කුටිය ගාව නැවතිලා බලන් ඉන්නවා දකිද්දි.

"එයා හැමදාම කරන්නේ ඒ ජනේලයෙන් එළිය බලාගෙන ඉන්න එක.."

එච්චර කාලෙකට හමු වුණු කිසිම රෝගියෙක්ගේ නොදැකපු මොකක්දෝ වෙනසක් මං ඔහුගෙන් එදා දැක්කා..ඒත් ඒ වෙනස මොකක්ද කියලා වෙන් කරලා අදුරගන්න මට ලේසි වුනේ නෑ.

"මොකක්ද එයාගේ නම.."

මං ඇහුවේ ඔහුගෙන් ඇස් ඉවතට නොගෙන.
අපේ කතා බහ ඇහිලද මංදා ජනේලයෙන් ඉවත බලාගෙන හිටපු ඒ කඩවසම් තරුණයා අපේ පැත්තට හැරුනේ හෙමීට.

ඔහු කඩවසම් කියනවට වඩා ගැලපෙන්නේ....ඔහු සුන්දරයි කියන එක.

ඔව්..එයා තමයි මං දැකලා තියන සුන්දරම තරුණයා..

හෙමිහිට අපේ දිහාට හිස හරවපු ඔහු කෙලින් ම බැලුවෙ මගේ ඇස් දිහා.ඒ ඇස් එක්ක මගේ ඇස් ගැටුණු පමාවෙන් ම එච්චර වෙලාවක් මට දැනුනු ඒ වෙනස මොකක්ද කියලා මං තේරුම් ගත්තා..

ඒ තමයි බලාපොරොත්තුව.

ඔහුගේ කලු පාට නිහඩ ඇස් අස්සේ තිබුනේ බලාපොරොත්තුවක්.

හැම රෝගියෙක් ම මෙතැනට එන්නේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා.

ඒත් ඔහුගේ ඇස්වල ඒ මොහොතෙත් මොකක්දෝ බලාපොරොත්තුවක් ඉතුරු වෙලා තිබුනා.

අලුතින් පටන් ගත්තු ජිවිතේට මං තවත් අරමුණක් එකතු කරගත්තේ එදා..ඒ තමයි ඔහුගේ බලාපොරොත්තුව මොකක් උනත් ඒක ඉටු කරගන්න උදව් කරන එක.

කල්පනාවක අතරමන් වුනු මං සැබෑ ලෝකෙට ආවේ මං ගාවින්ම ඇහුනු ඩොක්ටර් මින්ගේ සිහින් කට හඩින්.

"සොක්ජින්..එයාගේ නම කිම් සොක්ජින්.."

____________________________________


_____________________________________

Love you..♥️

2022/04/08
Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top