Chapter 32
❤️REAL HAPPINESS ❤️
Taehyung's POV
මගේ අත් තවත් තදින් මින්හී වටා එතෙද්දී මින්හීගේ සුමුදු තොල්පෙති මත ආදරයේ රටා මවන මගේ දෙතොල් වල පහසට මින්හී ටික වෙලාවකින් පිළිතුරු දෙන්න පටන් ගත්තා. එකිනෙකට දෙවැනි වෙන්නේ නැති තරම් වේගයෙන් ගැහෙන හදවත් දෙකක ස්පන්දන හඬ අතරේ අපි දෙන්නා එකිනෙකාගේ උණුසුමට තව තවත් ආසා කරද්දී මින්හීගේ සිහින් ඇඟිලි මගේ ගෙල පිටුපසින් එකිනෙක පැටලෙද්දී එකපාරටම ඇවිස්සුනු හැඟීම් එක්ක මම මින්හීව තවත් තදින් මට තුරුල් කරගත්තා.
"ටේ...ටේ...හ්‍යු...න්...ගා.. " මටත් නොදැනීම ඉබේටම රළුවෙමින් තිබුන සිපගැනීම අතරේ කෙඳිරියකින් වගේ මින්හී මුමුණනවා ඇහෙද්දී මම හෙමින් සැරේ ටිකක් පසුපසට උනා . මින්හීගේ ඇස්වල තවමත් කඳුළු පිරිලා තිබුනත් ඊටත් වඩා කැපිලා පෙනුනේ ඒ ඇස්වල තිබුන දීප්තිය, ඒ ඇස් ජිල් බෝල දෙකක් වගේ දිස්න දෙන්නේ ඉස්සර මින්හී සතුටින් ඉන්නකොට වගේමයි.
සතුටින් දිලිසෙන ඇස් , තද රතුවෙලා තිබුන දෙතොල් , රෝස පාට උන කම්මුල් වගේ ම ඇවිස්සුණු කොණ්ඩ කැරලි එක්ක මින්හී මගේ දිහා බලාගෙන හිටියේ පොඩි ළමයෙක් වගේ . ඒත් ඒ ඇස් ඇතුලේ එයා ගොඩක් හැඟීම්බර වෙලා හිටියේ කියලා මට තේරුම් ගියා .
වේගයෙන් ගැහෙන හදවත සන්සුන් කරගන්න ඕන උනත් , මින්හීව මගේ අත්වලින් මුදාහරින්න තිබුන අකමැත්ත නිසාම මම හෙමින් සැරේ මගේ නළල මින්හීගේ නළලට හේත්තු කරගත්තා..
"ටේ...ටේහ්‍යුන්ගා ...."
"ම්"
"ඉගෙ කූමි අනියා ක්(අ)චී??? (This is not a dream ? Right ??)" මින්හීගේ කටහඩේ තිබුනේ අවිනිශ්චිත බවක්. මම හෙමින් සැරේ මෙච්චර වෙලා මින්හී වටේ එතිලා තිබුන මගේ අත් අයින් කරලා හෙමින් සැරේ අත්දෙක ම මින්හීගේ කම්මුල් වලින් තියලා එයාගේ මූණ ටිකක් උඩට කළේ අපි දෙන්නාගේ ඇස් එකිනෙක හමුවෙන විදිහට .
"අනියා. න්(අ)ජසෝ මියානේ මින්හියා. (No. Sorry for being late ) සමාවෙන්න ගොඩක් දේවල් වැරදියට තේරුම් අරන් හැමවෙලාවෙම ඔයාව දාලා යනවාට, ආපහු කවදාවත් එහෙම වෙන්නේ නෑ . " ආපහු කවදාවත් හදිසි වෙලා තීරණ අරගෙන අපි අතර වැරදි වැටහීමක් ඇතිවෙන්නවත්, ඔයාව දාලා යන්නවත් මම හිතන්නේ නෑ මින්හී කවදාවත්... මම හිතින් හිතුවේ මින්හීගේ ඇස්වල කඳුළු පිරෙද්දී .
"අනී නේගා මියානෙත්තා ටේහ්‍යුන්ගා (no i'm sorry ) " මින්හී කිව්වේ ඇහෙන නෑහෙන ගානට.
"ඔයා තවත් ඔය වචනය කියන්නේ නෑ ආපහු ... " මම ටිකක් දැඩි විදිහට කිව්වත් මින්හී මගේ මූණ දිහා බලලා හිනාඋනා .
"නේගා මියානෙ..." මින්හී කියලා ඉවර වෙන්නත් කලින් මම එයාගේ නළලට සියුම් හාදුවක් දුන්නා . මින්හී මගේ දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන . මම මොකුත් උනේ නෑ වගේ හිනාවෙලා මින්හීව එක්කරගෙන ගිහින් පුටුවෙන් වාඩි කරගත්තා .
අපි අතර වචනයක් හුවමාරු වෙන්න කලින් මින්හීගේ ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා. මගේ මෙහා පැත්තෙන් තිබුන ෆෝන් එක අරගත්ත මම මින්හීට ෆෝන් එක දෙද්දී ඉබේටම බැලවුනේ caller ID එක දිහා .
'ජන්ග්කුකා '
මින්හී ෆෝන් එක අතට අරන් කෝල් එක ආන්ස්වර් කරද්දී එයාගේ මූණේ හිනාවක් මතු උනත් මගේ දිහා බලද්දී ඒ හිනාව ඉබේටම මැකිලා ගියා. එයා මගේ දිහා බලාගෙන ම කතා කළේ ටිකක් කලබලයෙන් වගේ .
මීට කලින් මගේ හිතේ ඇතිවෙන ඉරිසියාව වෙනුවට මම මින්හී කෝල් එක ඉවර කරනකල් බලාගෙන ඉන්න අතරේ මට මතක් උනේ උදේ ජන්ග්කුක් ශී, මම අතර ඇතිවුණ කතාබහ.
°°°°Flashback°°°°
"කිම් ටේහ්‍යුන්ග් ශී අපි දෙන්නගෙම ජීවිත වලට ගොඩක් වැදගත් කෙනෙක් ගැන මට ඔයා එක්ක කතා කරන්න ඕන . ඒ වගේ ම මම business deal එක ගැනත් ඔයා එක්ක කතා කළේ ඔයාව financial department එකේ head විදිහට නෙවෙයි kim cooperation එක කවදාහරි බාරගන්න කෙනා විදිහට හිතලා " ජන්ග්කුක් ශී ඒ වචන කියලා ඉවර වෙනවත් එක්කම මගේ ඔෆිස් රූම් එකේ ඇතිවුණේ අල්පෙනෙත්තක් වැටුනත් ඒ සද්දේ ඇහෙන්න පුලුවන් මට්ටමේ නිහඬතාවයක්. මම ජන්ග්කුක් ශී දිහා බලාගෙන හිටියේ මිශ්‍රිත හැඟීම් එක්ක . එයා මගේ ගැන දන්නේ කොහොමද කියන පුදුමය ඒත් එක්කම කේන්තිය , මොකද අපි දෙන්නටම වැදගත් කෙනෙක් ගැන නම් එයාට මගෙත් එක්ක කතා කරන්න ඕන ඒ කවුද කියලා මට හිතාගන්න පුලුවන් .
"කියන්න ජන්ග්කුක් ශී අපිට කවුරු ගැනද කතා කරන්න තියෙන්නේ ???" මම ඇහුවේ මගේ ආවේගශීලී හැඟීම් උපරිම පාලනය කරගෙන .
"මම ආර්ක් ගේම්ස් එකේ මුල් අරටුව විදිහට ඔයාට ගොඩක් ගරු කරනවා ටේහ්‍යුන්ග් ශී, ඒත් ඔයා මින්හී නූනට සලකන විදිහ ගැන මට එහෙම කියන්න බෑ . "
"කියන්න ඕන දේ කෙලින්ම කියන්න "
"මින්හී නූනා high school ඉන්නකොට ඇක්සිඩන්ට් උන වෙලාවේ ඔයා එයා ළඟින් නොහිටින්න හේතු ගොඩක් තිබ්බා. ඒත් දැන් නූනා ආපහු ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ ඇඳක වැටිලා ඉන්නකොට නූනා දිහා හරියට බලන්නෙවත් නැතුව එලියට ඇවිදගෙන යන්න ඔයාට පුලුවන් කියන්නේ , ඔයාට අඩුම තරමින් නූනා ගැන හැඟීමක් තියෙයි ද කියලාවත් මට විශ්වාස නෑ ."
"ජන්ග්කුක් ශී... මම පළවෙනි වතාවට වගේ ම අවසාන වතාවට කියන්නේ තමුන්ට අදාළ නැති දේවල් වලට මැදිහත් නොවී ඉන්නවා ." මම කියද්දි මට දැනුනේ මගේ කේන්තිය තවත් වැඩිවෙනවා වගේ .
"මට මැදිහත් නොවී ඉන්න තිබුනා ටේහ්‍යුන්ග් ශී නූනත් තමුන් වගේ හැඟීම් දැනීම් නැති කෙනෙක් උනානම් . ඒත් තමුසෙ කරන පොඩි දේකදි උනත් හිත රිද්දාගන්නේ නූනා , ඒක මට තවත් බලාගෙන ඉන්න බෑ , මම ඉන්නෙත් නෑ ."
"එයා ගැන ඔය තරමට වද වෙන්න තමුන් කවුද ?? "
"මම නූනට ආදරෙයි ....." ජන්ග්කුක් ශී ඒ වචන කිව්වේ කෙලින්ම මගේ ඇස් දිහා බලාගෙන . මට දැනුනේ මාව අයිස් වතුරෙන් තෙමිලා ගියා වගේ හැඟීමක් . දුක, කේන්තිය , ඉරිසියාව මිශ්‍රිත හැඟීම් රාශියක් එක්ක පුටුවෙන් නැඟිට්ට මගේ අත මට ඉස්සරහින් වාඩිවෙලා හිටිය ජන්ග්කුක් ගේ ශර්ට් එකේ කොලරයෙන් අල්ලාගෙන පුටුවෙන් ඇදලා ගත්තේ ඉබේටම .
"ආපහු කියනවා මොකද්ද ඒ කිව්වේ කියලා " මම උස් හඬින් කෑගැහුවේ කේන්තියෙන් .
"මම කිව්වේ මම නුනට ආදරෙයි කියලා .." හැම වචනයක් ම අවධාරණාත්මක විදිහට කිව්ව ජන්ග්කුක් එයාගේ ශර්ට් එකෙන් අල්ලාගෙන හිටිය මගේ අත පැත්තකට ගසලා දාලා මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා .
"ඒත්. ඒ. සහෝදරයෙක් . විදිහට . මම මින්හී නුනට ආදරේ කරන්නේ මගේ ම නූනා විදිහට එයා ගැන හිතලා " ජන්ග්කුක් ශී එයාගේ ශර්ට් එක හදාගෙන ආපහු පුටුවෙන් වාඩි උනේ කිසිම දෙයක් නොවුණු ගානට. ඒ වචනත් එක්ක හිතට දැනුන සැනසීමත් එක්ක මගේ කේන්තිය ඉබේටම නිවිලා යද්දී මාව ඉබේටම ආපහු පුටුවෙන් ඉන්දවුනා . ජන්ග්කුක් ශී මගේ දිහා බලාගෙන හිටියේ කටකොණකට නැඟුන හිනාවක් එක්ක .
"ඒක ඇත්තටම මම බලාපොරොත්තු වුන විදිහේ ප්‍රතිචාරයක් , i'm impressed ටේහ්‍යුන්ග් ශී "
"ජන්ග්කුක් ශී තමුන්ට මේක විහිලුවක් ද??"
"කොහෙත් ම නෑ , ඒත් ටේහ්‍යුන්ග් ශීගෙන් මම බලාපොරොත්තු උන විදිහේ ප්‍රතිචාරයක් මට ලැබුනා." ජන්ග්කුක් ශී කිව්වේ තෘප්තිමත් හඬකින් . එකපාරටම කියාගන්න දෙයක් හිතාගන්න බැරි උන මම බලාගෙන හිටියේ 'මේ මනුස්සයට පිස්සුද' කියලා හිත හිත.
"ඒ කතා පැත්තකින් තියමු, මම දැන් කියන්න ඕන දේ කියන්නම් කිම් ටේහ්‍යුන්ග් , හොඳට අහගෙන ඉඳලා ඔයාම තීරණය කරන්න කරන්න ඕන දේ." ජන්ග්කුක් ශී කිව්වේ බැරෑරුම් විදිහට . මමත් මොකුත් නොකියා බලාගෙන හිටියේ එයාට කතාකරන්න කියලා හිසින් සන් කරලා .
"ඔයාලා දෙන්නා ගැන හැමදෙයක් ම මම දන්නවා . එතකොට නූනට එයාගේ මතකේ සම්පූර්ණයෙන්ම ලැබිලා නෑ කියලා ඔයත් දන්නවා. ඒත් ඔයාලා දෙන්නා කොහොම හරි ආපහු හම්බවුණා . ඔයා නූනට එයාට අමතක හැමදේම කියලා ඊට පස්සේ දැන් එකපාරටම නූනව මඟාරින්නේ එයාට තනියෙන් විඳවන්න ඇරලද?? මේ අවුරුදු ගානට නූනා ගොඩක් දේවල් වලට මූණ දුන්නා ටේහ්‍යුන්ග් ශී , නූනගේ මුලු ජීවිතේ ම උන අජුම්මා හදිසියේ ම නූනව මේ ලෝකේ තනි කරද්දිත් නූනා ඒ හැමදේම දරාගත්තා. එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් , ඒත් ඒකෙන් කියන්නේ නෑ ඔයා කරන කිසිම දෙයක් නූනට දැනෙන්නේ නෑ කියලා . ගැහැනු හිත් පිරිමි අපේ හිත්වලට වැඩිය ශක්තිමත් කිව්වට එයාලටත් දරාගැනීමේ සීමාවක් තියෙනවා. නූනා එයාගේ හිනාවෙන් ඕනම දුකක් හංඟාගෙන ඉන්න දන්නවා , ඒත් එයාට තවත් එහෙම කරන්න දෙන්න එපා. ඔයාලා අතර තියෙන ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න මේ විදිහට දෙන්නාටම තවත් දුක් දෙන්නේ නැතුව . මම හැමවෙලාවෙම උත්සාහ කරනවා නූනව සතුටින් තියන්න ඒත් ඒ සහෝදරයෙක් විදිහට, නූනගේ ඇත්තම හිනාව ආපහු එයාගේ මූණට ගේන්න පුලුවන් ඔයාට විතරයි ටේහ්‍යුන්ග් ශී. "
"මම ....."
"ඒ වගේ ම ...." එකපාරටම ජන්ග්කුක් ශීගේ කටහඬ වෙනස් උනා, එයාගේ මූණෙත් අඳුරු පෙනුමක් මතු උනේ.
"නූනට ආපහු මෙහෙම රිද්දුවොත් මම හැසිරෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි ටේහ්‍යුන්ග් ශී " මේසේ ඉස්සරහට නැඹුරු වෙලා එහෙම කිව්ව ජන්ග්කුක් ශී ආපහු සැරයක් පිටුපසට වෙලා පුටුවෙන් නැඟිට්ටා .
"මට යන්න වෙලාවත් හරි. කතා කරන්න වැය කරපු වෙලාවෙන් ඔයාට ප්‍රයෝජනයක් තියෙයි කියලා මම හිතනවා ටේහ්‍යුන්ග් ශී " ජන්ග්කුක් ශී එහෙම කියලා දොර දිහාට යන්න හදද්දිම මාව ඉබේටම පුටුවෙන් නැඟිට්ටුනා.
"ජන්ග්කුක් ශී" මම කියද්දි ජන්ග්කුක් ශී නතර වෙලා ආපහු හැරිලා බැලුවා .
"මේක මගේ අවසන් අත්වැරැද්ද, මීට පස්සේ කිසිම විදිහකින් මින්හීට දුක හිතෙන දෙයක් මම කරන්නේ නෑ ,ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන් ඔයාගේ නූනා ගැන" මම කිව්වේ හිතට දැනුන අවංක හැඟීම් වලින් . මටත් වඩා වයසින් අඩු කෙනෙක් ඉස්සරහා මට දැනුනේ මම පොඩි ළමයෙක් වගේ. තමන්ගේ ඇත්තම සහෝදරිය නොවන කෙනෙක් වෙනුවෙන් මේ තරම් ආදරේ කරන්න , ඒ කෙනාගේ සතුට ගැන හිතන්න ,ඒ කෙනාව මේ තරම් ආරක්ෂා කරන්න ...... ජන්ග්කුක් ශී ඇත්තටම මම හිතුවට වඩා ගොඩක් වෙනස් කෙනෙක් , මින්හී ගොඩක් වාසනාවන්තයි එහෙම කෙනෙක් ලැබෙන්න තරම් .
"මමත් එහෙම හිතනවා හ්‍යුන්ග් " ජන්ග්කුක් ශී හිනාවෙලා එලියට ගියේ මම ආපහු මොකුත් කියන්නවත් කලින් .
°°°°End of flashback °°°°
Min Hee's POV
ජන්ග්කුකා එක්ක කතා කරන අතරෙත් මගේ ඇස් නිරන්තරයෙන්ම යොමු උනේ ටේහ්‍යුන්ගා දිහාවට. එයා ආපහු සැරයක් වැරදි වැටහීමක් නිසා ආපහු මාත් එක්ක තරහා වෙයි කියන හැඟීමත් එක්ක මට දැනුන නොසන්සුන්තාව මගේ බය තවත් වැඩි කළා. මම කෝල් එක ඉවර කරලා ෆෝන් එක පැත්තකින් තිබ්බත් ටේහ්‍යුන්ග් හිටියේ කල්පනාවක .
"ටේ.. ටේහ්‍යුන්ගා" මම එකසැරයක් කතා කළත් එයාට ඇහුනේ නෑ .
"ටේහ්‍යුන්ගා" මම දෙවැනි සැරේ චුට්ටක් හයියෙන් කතා කළාම එයා මගේ දිහා බැලුවේ ටිකක් ගැස්සිලා වගේ .
"ඕහ් කතා කරලා ඉවරයි ද???" එයා ඇහුවේ හරිම සාමාන්‍ය විදිහට , ඒත් ඒ සන්සුන් පෙනුම ඇතුලෙන් එයා ඉන්නේ කේන්තියෙන් ද???
"මේ... ජන්ග්කුකා නිකන් කෝල් කළේ.... එ...එයා. අ...අද එනවා.. කි..කියලා කිව්වත් එන්න වෙ..වෙන්නේ නෑ ... කි..." මම එකපාරටම අත් දෙකෙන් ම කට වහගත්තේ මට කියවුනේ වැරදි දෙයක් කියලා තේරුණු නිසා . දැන් නම් එයා අනිවාර්යයෙන්ම ආපහු සැරයක් කේන්ති ගනියි. මම ටේහ්‍යුන්ගා දිහා බලාගෙන හිටියේ එයාගෙන් ඕනම විදිහේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් .
ඒත් ටිකක් වෙලා නිහඬවම මගේ දිහා බලාගෙන හිටිය ටේහ්‍යුන්ගා නැඟිටලා මගේ ඉස්සරහින් බිම දණගහගෙන මගේ අත් දෙකම එයාගේ අත්වලට මැදි කරගත්තා. මගේ දිහාට යොමු වෙලා තිබුන එයාගේ ඇස්වල කේන්තිය වෙනුවට පිරිලා තිබුනේ ආදරයක්, එයාගේ අත්වලින් මට දැනුනේ උණුසුමක්.
"මට සමාවෙන්න මැණික" එයා කිව්වේ හැඟීම්බර විදිහට . මම නිහඬවම ටේහ්‍යුන්ගා දිහා බලාගෙන හිටියා .
"මම ඔයාට ගොඩක් ආදරෙයි මැණික . එදත් ආදරේ කරා, තවමත් ඊටත් වැඩිය ආදරේ කරනවා. ඒත් ... ඔයාගේ දොන්ග්සෙන්ග් මටත් වැඩිය ඔයාට ආදරේ කරනවා, ඔයාව පරෙස්සම් කරනවා. එයා හැමදාටම ඔයාගේ දොන්ග්සෙන්ග් තමයි . ජන්ග්කුක් ඔයාගේ ළඟින් ඉන්න එක මම ආපහු කවදාවත් වැරදියට තේරුම් ගන්නේ නෑ , ඔයාලා දෙන්නාගේ ඒ සහෝදර බැඳීම අතරට මම බාධාවක් වෙන්නෙත් නෑ . යක්සොක්හේ නේ සරන්ග් (I promise my love) " ටේහ්‍යුන්ගා කිව්ව වචනයක් ගානේ මගේ හිතට සතුටක් සැනසීමක් දැනුනා වගේ ම මගේ ඇස්වල සතුටු කඳුළු පිරුනා .
මම මොකුත් කියන්නේ නැතුව සතුටට ම ටේහ්‍යුන්ගාව තදින් බදාගත්තා .
"ගුමාවොයො.. චොම්මල් ගුමාවොයො හැමදෙයක් ම තේරුම් ගත්තට"
"අනී නේගා මියානෙත්තා හැමදෙයක් ම මෙච්චර කල් වැරදියට..." ටේහ්‍යුන්ගා කියලා ඉවර වෙන්නත් කලින් මම එයාගේ දෙතොල් වලට බර උනා.
"මට වගේ ම ඔයාටත් ආපහු ඒ වචනය කියන්න බෑ " මම එහෙම කියද්දි එයා මගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා වගේ . ඒත් එයා දිගටම මගේ දිහා බලාගෙන ඉන්නකොට මට දැනුනේ මගේ කම්මුල් රතුවීගෙන එනවා වගේ . මම හෙමින් සැරේ එයාගෙන් ඈත්වෙලා හිටගත්තා .
"ටේහ්‍යුන්ගා ඔයා ඉන්න මම බොන්න මොනාහරි හදාගෙන එන්නම් " මම එහෙම කියලා අඩියට දෙකට kitchen එකට දිව්වා.
විනාඩි දහයකට විතර පස්සේ මම ආපහු එනකොට ටේහ්‍යුන්ගා සෝෆාවේ පැත්තක තිබුන ටෙඩියා දිහා බලාගෙන හිටියේ ඇහිපිය ගහන්නෙවත් නැතුව . මගේ අඩි සද්දේ ඇහෙද්දී එයා මගේ දිහා බලද්දී ඒ ඇස්වල තිබුනේ අමුතුම පෙනුමක් .
"මි... මින්හියා.. " ටේහ්‍යුන්ගාගේ අවධානය තාමත් තිබුනේ ටෙඩි බෙයාර් දිහාවට . මම tray එක ටීපෝව උඩින් තියලා ටෙඩි බෙයාර්ව අතට ගත්තා.
"ගොඩක් කාලෙකට පස්සේ නේද එයාව ආපහු දකින්නේ ??? Vending machine එකෙන් ඔයා මට අරන් දුන්න තෑග්ග" මම ඇහුවේ හිනාවෙවී .
"මි... මින්හියා... ඔ..ඔයා... " ටේහ්‍යුන්ගා මගේ දිහා බැලුවේ පුදුම වෙලා .
මම ටෙඩියව පැත්තකින් තියලා ටේහ්‍යුන්ගා එක්කම වාඩිවෙලා එයාගේ මූණ මගේ පැත්තට හරවාගත්තා.
"මට හැමදේම මතකයි , සමාවෙන්න ඔයාව ආපහු මතක් වෙන්න මෙච්චර කල් ගත්තට, ඒ වගේ ම සමාවෙන්න මම නිසා ඔයාගේ පවුලේ අයගෙන් ඔයාට ඈත්වෙන්න උන එකට. තව ආපහු හම්බවුණාට පස්සෙත් ඔයාට නපුරු විදිහට සලකපු එකට... "
"මින්හියා ඉජෙ කමන්හේ (It's enough now, stop it) " ටේහ්‍යුන්ගා එකපාරටම කෑගැහුවේ කේන්තියෙන් වගේ , ඒත් එයාගේ ඇස්වල කඳුළු පිරිලා තිබුනේ . එයා මගේ උරහිස් දෙකෙන් ටිකක් තදට අල්ලාගත්තා .
"මම කිව්වා නේද තවත් 'සමාවෙන්න' කියන්න එපා කියලා . "
"ඒත්...."
"ඒත් නෙවෙයි . සිද්ද උන කිසිම දෙයක් ඔයාවත් මමවත් හිතලා කරපු දේවල් වත් අපේ වැරැද්දෙන් සිද්ද උන දේවල්වත් නෙවෙයි . ඒ හැමදේම සිද්ද වෙලා ඉවරයි , අපි අවුරුදු ගානක් හිතින් විඳවලා ඉවරයි . දැන් ඒ හැමදේම අමතක කරමු මින්හියා." ටේහ්‍යුන්ගා කිව්වේ ආයාචනාත්මක විදිහට .
"අනී ටේහ්‍යුන්ගා. හැමදේම අමතක වෙලා හිටිය මම නෙවෙයි , හැමදෙයක් ම මතක තිබුන, මම සදහටම ඔයාව දාලා ගියා කියලා හිතපු ඔයයි වැඩිපුර ම දුක් වින්ඳේ, මට ඒ හැමදෙයක් ම දැනගන්න ඕන . අද අපි ඒ හැමදේම කතා කරමු , ඊට පස්සේ ඒ හැමදේම අමතක කරලා හෙට ඉදන් අපි ජීවිතේ අලුතෙන් පටන් ගමු ." මම කියද්දි ටේහ්‍යුන්ගා මගේ දිහා බැලුවේ අසරණ විදිහට .
.
.
.
මට හැමදේම දැනගන්න ඕන කිව්වත් ඒ වචනවල බැරෑරුම්බව මට දැනෙන්න ගත්තේ මගේ ඇස්වලින් ගලන කඳුළු නවත්වාගන්න මටවත් බැරි වෙද්දී . ජීමින් ටේහ්‍යුන්ග් ඇක්සිඩන්ට් උන එක ගැන කියලා තිබුනත් ඒ දේවල් ආපහු ටේහ්‍යුන්ග්ගේ වචනවලින් ම දැනගන්නකොට ඒ හැමදේම දසදහස් ගුණයකින් මගේ හදවතට ම දැනුනා .
"මම ඔම්මා, අප්පා , එයාලා හැමෝම මගේ ජීවිතෙත් ඈත් කරන්න තීරණය කරපු එක එයාගේ වැරැද්දක් නෙවෙයි මින්හියා. ඔයත් නැති උනාට පස්සේ මට තවත් හැමදේම තනියෙන් විඳවන්න ඕන උනේ නෑ , එක මොහොතකට හරි මේ අඳුරු මතක හැමදේම අමතක කරන්න මට ඕන උනා . හැල්මොනි එක්ක ඔයා එක්ක ලබපු ලස්සන අත්දැකීම් ඔක්කොම අන්තිමට ඉවර උනේ දුකකින් . මම ඇමෙරිකා ගිහින් හැමදේම අලුතෙන් පටන් ගත්තා. ජීමිනා එක්ක තිබුන යාලුකම අඩු කරන්න හැදුවත් ජීමිනා ඒකට ඉඩ දුන්නේ නෑ , හැමවෙලාවෙම මාත් එක්ක හිටියා.
අවුරුදු දෙකකට කලින් මම ආපහු කොරියාවට ආවා කියලා දැනගෙන හිටියේ ජීමිනා විතරයි . ඒත් කාලයක් එක්ක අප්පාට මගේ ගැන දැනගන්න ලැබිලා එයා බලෙන් ම මාව කිම් කෝපරේෂන් එකට සම්බන්ධ වෙන්න වෙන තත්ත්වයට මාව පත් කළා. ඒත් මට ඒ ගැන එයාට ස්තූති කරන්න පුලුවන් මොකද මට ඔයාව ආපහු හම්බවෙන්න ලැබුනේ ඒ නිසා " ටේහ්‍යුන්ගා අන්තිමට කිව්වේ හිනාවකින් උනත් ඒ හිනාව ඇතුලේ එයා අවුරුදු ගානක් තනියෙන් විඳෙව්ව හැටි හැංඟිලා තිබුනා .
මම හෙමින් සැරේ මගේ අත් දෙකට එයාගේ අතක් මැදි කරගත්තා.
"පොරොන්දු වෙනවා ආපහු කවදාවත් මොහොතකට වත් ඔයාගෙන් ඈත් වෙන්නේ නෑ . හැමදාමත් ඔයා එක්කම ඉන්නවා " මම එහෙම කියද්දි හැමදාමත් මම බලන්න ආසාවෙන් හිටිය ලස්සන හිනාව ඒ මූණේ ඇදුනේ ඉබේටම .
හිනාවෙවීම ටේහ්‍යුන්ගා මාව එකපාරටම එයාගේ පැත්තට ඇදලා ගත්තා. අන්තිමට මම නතර උනේ එයාගේ අත් අතරට මැදි වෙලා .
"මමත් ආපහු කවදාවත් ඔයාට මගෙන් ඈත්වෙන්න ඉඩ දෙන්නේ නෑ මින්හියා. " ටේහ්‍යුන්ගා ඇහෙන නෑහෙන ගානට මගේ කනට කරලා මුමුණද්දී බෙල්ලට වැදුන උණුසුම් හුස්ම එක්ක මගේ අත් එයා වටේ එතුනේ ඉබේටම
"හැමදාමත් ඉන්නවා මේ විදිහට ම" මම මිමිණුවේ ඒ උණුසුම් තුරුලට තවත් තුරුලු වෙලා .
.
.
.
(පසුදින උදෑසන )
සුපුරුදු විදිහට ඇහුන ෆෝන් එකේ බෙල් එකේ සද්දෙට ඇහැරුනා උනත් මම ටිකක් වෙලා ඇඳට වෙලා හිටියා. ඊයේ දවස ගැන කල්පනා කරද්දී මගේ මූණට හිනාවක් ආවේ ඉබේටම . ටේහ්‍යුන්ගා රෑ නමයට විතර ආපහු ගියේ පොඩි ළමයෙක් වගේ මූණත් දෙක කරගෙන . එයාට ගෙදර ඉදන් අලුත් ගේම් එකේ වැඩ කරන්න තිබුන නිසා එයාට අකමැත්තෙන් උනත් යන්න උනා. මගේ ඔලුවේ බැන්ඩේජ් අයින් කරලා තුවාල හොඳ වෙනකල් මට ආපහු ඔෆිස් යන්න වෙන්නේ නැති නිසා එයාට ඕන උනේ පුලුවන් තරම් වෙලා මාත් එක්කම ඉන්න . ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ ගොඩක් පැතිකඩ මම දැකලා තිබුනත් ඒ හැම දෙයක් ම අවසානයේ අවුරුදු ගානකට කලින් මම දැක්කා වගේ ම ගොඩක් ආදරණීය චරිතයක් හැංඟිලා තිබුනා . මුලු ලෝකෙටම නපුරු දැඩි ඒ හදවත එයා ආදරේ කරන අය ළඟ හරිම මෘදු හදවතක් උනා .
අපිව ආපහු මුණගැහුණේ දෛවය නිසා උනත් නොවුනත් ආපහු කවදාවත් මම ඒ ලස්සන ආදරේ නැතිකරගන්නේ නෑ . මම හිතින් හිතන අතරෙම ඇඳෙන් නැඟිටලා කම්මැලිකමෙන් උනත් දවසේ වැඩ පටන් ගත්තා.
හවස ආපහු හොස්පිටල් යන්න තිබුනේ ඔලුවේ බැන්ඩේජ් එක ගලවන්න . ජන්ග්කුකා කලින්ම කියලා තිබුනේ එයා මාව එක්කරගෙන යනවා කියලා . බැන්ඩේජ් එක ගැලෙව්වට පස්සේ ඩොක්ටර් කිව්වේ තුවාලය හොඳටම වේලිලා නිසා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා . අපි හොස්පිටල් එකෙන් ආවේ හවස 6ට විතර
"නූනා"
"හ්ම්"
"දවස් ගානකට පස්සේ නූනා හිනාවෙන්නේ මොකක් හරි දෙයක් සිද්ද උනාද???"
"ම්වෝ????"
"අනී මම කිව්වේ කවුරුහරි කෙනෙක් නිසා නූනගේ තනිකඩ ජීවිතේට තිත තිබ්බා වගේ දෙයක් "
ආපහු එන අතරේ කවදාවත් නැතුව ජන්ග්කුකා මාව විහිලුවට ගන්නවා වගේ මට දැනුනේ .
"යාහ්..." මම කෑගැහුවේ බොරු කේන්තියකින්
"හරි හරි නූනා ... නූනගේ නම්ජා චින්ගු මට කැමති නෑ කියලා නූනත් දැන් මට කෑගහනවා ද??? මේ තොක්කියා පව් නැද්ද ????" ජන්ග්කුකා අහිංසක විදිහට ඇහුවේ ඇස් දෙකත් හරිම දුක හිතෙන විදිහට හදාගෙන . මම මොකුත් නොකියා හිනාඋනේ මේ කොල්ලා ඇත්තටම අවුරුදු පහක විතර පොඩි ළමයෙක් ද කියලා හිතන ගමන් . ඊයේ ටේහ්‍යුන්ගා කුකී ගැන එයා තවත් වැරදි විදිහට හිතන්නේ නෑ කියලා කියද්දි , මට දැනුන ඒ සතුට. ඇත්තටම මට දැනුනේ ලොකු සැනසීමක් . ටේහ්‍යුන්ගා කියන්නේ මම ආදරේ කරන කෙනා , ජන්ග්කුකා කියන්නේ මට මගේ ම දොන්ග්සෙන්ග් වගේ . ඉතින් මේ ලෝකේ මම වැඩිපුර ම ආදරේ කරන දෙන්නෙක් අතරේ මට කෙනෙක්ව තෝරගන්න බෑ . ඒත් ටේහ්‍යුන්ගා ජන්ග්කුකා ගැන හිතන විදිහ වෙනස් වෙන්න එයාලා කතාකරපු දේවල් හේතුවක් වෙන්න ඇති.ඒත් ඉතින් එයාලා දෙන්නා ඊයේ බිස්නස් වැඩකදී හම්බවෙලා අහම්බෙන් කතා කරා කියලා ඇරෙන්න තව වචනයක් අහගන්නේ කොහොමද මේ ගොලුවෝ දෙන්නාගෙන්.
ජන්ග්කුකා ඇවිත් මගේ අපාර්ට්මන්ට් එක ඉස්සරහින් නැවැත්තුවට පස්සේ බහිනවා වෙනුවට ජන්ග්කුකා පැත්තට හැරිලා හෙමින් සැරේ ජන්ග්කුකාගේ කොණ්ඩේ අවුස්සන්න ගත්තා.
"ගුමාවොයෝ නේ දොන්ග්සෙනා , හැමදාම වගේ මේ සැරෙත් මම වෙනුවෙන් ගොඩක් දේවල් කළාට. ගුමාවොයො හැමදාම මගේ පවුලේ කෙනෙක් වගේ මාත් එක්කම ඉන්නවාට. " මම කිව්වේ මේ අවුරුදු ගානටම ජන්ග්කුකා මාත් එක්ක හිටිය විදිහ මතක් වෙද්දී .
"ආයිෂ් නූනා මගේ hairstyle එක, දැන් අලුතෙන් හදන්න වෙනවා. කෝ. බහින්න බහින්න කෝජෝ (get lost). " ජන්ග්කුකා මගේ අත පැත්තකට තල්ලු කරලා කොණ්ඩේ ආපහු හදන්න ගත්තා.
"මම යනවා නූනා . මගේ රාජකාරිය මෙතනින් ඉවරයි "
මම කාර් එකෙන් බැස්සට පස්සේ ජන්ග්කුකා ඉක්මනට යන්න ඕන කියලා ගියේ වෙනදා වගේ මාව අපාර්ට්මන්ට් එක ඇතුලට එක්කරගෙන යන්න තියා කාර් එකෙන් බහින්නවත් වෙලා නෑ වගේ හදිස්සියෙන් .
"මෝඩ කොල්ලා" මම එහෙම කියලා අපාර්ට්මන්ට් එකට යන්න හැරෙද්දිම ඉස්සරහින් නවත්වලා තිබුන කාර් එකක headlights එකපාරටම පත්තු උනා. ඇස් දෙකම නිලංකාර වෙන එලියක් වැදෙද්දී මම ඒ දිහා බලන්න හැදුවත් කාර් එකෙන් එලියට බහින කෙනෙක්ගේ ඡායාව හැර කිසිම දෙයක් පැහැදිලි ව පෙනුනේ නෑ .
ඒත් මොහොතක් ගතවෙනවත් එක්කම මගේ වටේ එතුන ශක්තිමත් දෑත් වගේ ම ඒ හුරුපුරුදු උණුසුම මට ලේසියෙන් ම උත්තර දුන්නා .
"ටේහ්‍යුන්ගා."
"පොගෝශිපොස්සොයෝ (missed you ) මින්හියා" ටේහ්‍යුන්ගා කිව්වේ මාව එයාගේ උණුසුමට තුරුල් කරගෙන .
Taehyung's POV
උදේ ඇහැරපු වෙලාවේ ඉඳලා හවස ආර්ක් එකෙන් එලියට බහිනකල් ම හිතේ තිබුනේ සතුටක්, කාලෙකට පස්සේ මම ඇත්තටම සතුටින් නේද කියන දේ මගේ හිතටම දැනුනා. මින්හීට අද හවස ඔලුවට දාලා තිබුන බැන්ඩේජ් අයින් කරන්න හොස්පිටල් යන්න තියෙනවා කිව්වත් එයා කිව්වේ මම එන්න ඕන නෑ එයා ජන්ග්කුක් එක්ක යන්නම් කියලා . ඒත් මින්හීව පුදුම කරන්න හිතාගෙනත් එක්ක මම හවස ගෙදර යනවා වෙනුවට ගියේ මින්හීගේ අපාර්ට්මන්ට් එකට , මින්හී ඇවිත් අපාර්ට්මන්ට් එකට යන්න හදද්දී ම මම කාර් එකේ headlights ඔන් කලේ දඟ වැඩක් කරන පොඩි ළමයෙක් වගේ . මින්හී මොකුත් පේන්නේ නැති නිසා මගේ පැත්තම බලාගෙන ඉන්නකොට මම ගිහින් හෙමින් සැරේ එයාව තුරුල් කරගත්තා .
"ටේහ්‍යුන්ගා." එයාට මාව අඳුරගන්න ගතවුණේ මොහොතක් විතරයි .
"පොගෝශිපොස්සොයෝ මින්හියා" මම මින්හීව තවත් තදින් මට තුරුල් කරගත්තා.
"ඇතුළට යමු " ටික වෙලාවකට පස්සේ මින්හී මගේ අතින් ඇදගෙන අපාර්ට්මන්ට් එක ඇතුලට එක්කරගෙන ගියා. ගිය ගමන් ම මම සෝෆාවට පැනලා පිටිපස්සට හේත්තු උනේ පොඩි ළමයෙක් වගේ .
"මහන්සියි ද???" මින්හී අහද්දී මම හෙමින් සැරේ ඔලුව වැනුවේ ඔව් කියන්න . මින්හී මගේ එහා පැත්තෙන් වාඩි උනා.
"කෝ එන්න දැන් ඔලුව තියාගන්න " මම හාන්සි වෙලා මින්හීගේ උකුලෙන් ඔලුව තියාගත්තේ එයාගේ දිහා බලාගෙන ම. මින්හී හෙමින් සැරේ මගේ ඔලුව අතගානකොට දැනුන සැහැල්ලුවත් එක්ක ඉබේටම මගේ ඇස් පියවුනා.
Min Hee's POV
ටේහ්‍යුන්ගාගේ මූණෙන් ම එයාගේ මහන්සිය පෙනුන නිසා මම එයාගේ ඔලුව මගේ උකුලෙන් තියාගෙන හෙමින් සැරේ එයාගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවනකොට එයාට ඉබේටම නින්ද ගියා. වෙලාව ගත වෙනවා නොදැනෙන තරමට මමත් ටේහ්‍යුන්ගාගේ ඔලුව අතගගා එයා දිහාම බලාගෙන හිටියා. අවුරුදු ගානකට පස්සෙත් කොණ්ඩේ පාට, ඒ කාලෙට වඩා ටිකක් පරිණත වුන පෙනුම හැර එයා කිසිම විදිහකින් වෙනස් වෙලා නෑ .
"ඔයා කිසිම විදිහකින් වෙනස් වෙලා නෑ ටේහ්‍යුන්ගා " මට කියවුනේ ඉබේටම
"ඒ නිසාද මෙච්චර වෙලා මගේ දිහා බලාගෙන හිටියේ ???" එකපාරටම එයාගේ කටහඬ ඇහෙද්දී මම ගැස්සුනා .
"ඔ... ඔයා නිදාගෙන නෙවෙයි ද හිටියේ ????" මම ඇහුවේ ටිකක් ලැජ්ජාවෙන් වගේ, කවුද දන්නේ ටේහ්‍යුන්ගා ඇහැරලා හිටියේ කියලා .
"නිදාගෙන හිටියේ, ඒත් ඇහැරෙන්න ඕන ම වෙලාවේ ඇහැරුනා " ටේහ්‍යුන්ගා එහෙම කියලා හිනාඋනේ දඟ වැඩක් කරපු පොඩි ළමයෙක් වගේ .
ටේහ්‍යුන්ගා හෙමින් සැරේ මගේ නළලට වැටිලා තිබුන කොණ්ඩේ පැත්තකට කරලා මගේ නළලේ තිබුන තුවාල කැලල දිහා බැලුවා .
"දැන් රිදෙන්නේ නෑ නේද ??" එයා ඇහුවේ ආපහු සැරයක් තුවාල කැළල වැහෙන විදිහට කොණ්ඩේ හදලා .
"අනී.. තව දවසකින් දෙකකින් හොඳටම හොඳ වෙයි" මම කිව්වේ ඇත්තටම තුවාල වලින් වේදනාවක් දැනෙන්නේ නැති තරමට ඒවා හොඳ වෙලා තිබුන නිසා
"එදා ඔයාගේ ඔලුව බැන්ඩේජ් කරලා තියෙනවා කියලා කාමරේ ඇතුලට ආව ගමන් මම දැක්කා උනත් ඔයා ගැන වදවෙනවට වඩා මම ඇත්තටම මෝඩයෙක් වගේ හැසිරුණේ " ටේහ්‍යුන්ගා කිව්වේ ලැජ්ජාවෙන් වගේ .
"මටත් ඒකට නම් එකඟ වෙන්න වෙනවා."
"හහ්???" ටේහ්‍යුන්ගා මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ .
"ඔයාට කේන්තියක් , දුකක්, ඉරිසියාවක් මොන දේ දැනුනත් ඔයා ඒ විදිහට මගේ දිහා බලන්නෙවත් නැතුව හැරිලා යද්දී ගොඩක් දුක හිතුනා ටේහ්‍යුන්ගා " මට ඉබේටම කියවුනේ පහත් හඬකින් උනත් ටේහ්‍යුන්ගාගේ මූණේ හැඟීම් වෙනස් උන විදිහ එක්ක එයාට මම මුමුණපු වචන ඇහුනා කියලා මට තේරුනා.
"ආපහු කවදාවත් එහෙම වෙන්නේ නෑ . ඒ වගේ පසුතැවෙන්න වෙන දෙයක් මම ආපහු කවදාවත් කරන්නේ නෑ මින්හියා, කවදාවත් ම නෑ " ටේහ්‍යුන්ගා කිව්වේ මගේ කම්මුලකින් අතක් තියලා.
තවත් වෙලා ඒ විදිහට ඉන්න අපි දෙන්නම ආස උනත් මම අමාරුවෙන් ටේහ්‍යුන්ගාව පැත්තකට කරලා නැඟිට්ටේ අපි දෙන්නටම රෑට කන්න මොනාහරි හදන්න.
"මම ramen දෙකක් හදන්නද නැත්නම් වෙන මොනාහරි හදන්නද?? " මම රාක්කයේ තිබුන ramen පැකට් දෙකක් අරගෙන මගෙත් එක්කම kitchen එකට ආපු ටේහ්‍යුන්ගා දිහාට හැරුනා .
"හ්ම්" එයා තාමත් මූණ දෙක කරගෙන හිටියේ මම එයාව දාලා kitchen එකට ආපු එකට. ඇත්තටම පොඩි ළමයෙක් වගේ , මට ඉබේටම හිනා ගියා ටේහ්‍යුන්ගාගේ මූණ දකිද්දී . නූඩ්ල්ස් එක හදන අතරේ ටේහ්‍යුන්ග්ගේ බැල්ම තිබුනේ මගේ දිහාට කියලා මම හොඳටම දැනුනා .කෑම මේසෙට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන මගේ දිහා බලාගෙන හිටිය ටේහ්‍යුන්ගාගේ ඇස් මම කරන හැමදෙයක් දිහාම නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ .
"දැන් හරි ද??" මම ඇහුවේ ramen පිඟන් දෙක මේසය උඩින් තියලා ටේහ්‍යුන්ගා දිහාට හැරිලා .
"අනී" එයා එහෙම කියලා මම හිටිය තැන තිබුන පුටුවෙන් මාව ඉන්දවලා එයත් පුටුව එතනටම ගත්තා .
"දැන් හරි"
"ටේහ්‍යුන්ගා මට ඇත්තටම හිතාගන්න බෑ ඔයා ආර්ක් ගේම්ස් එකේ CEO ද එහෙම නැත්නම් අවුරුදු පහක විතර පොඩි ළමයෙක් ද කියලා " මම කියද්දී ටේහ්‍යුන්ගා මගේ දිහා බැලුවේ ටිකක් බැරෑරුම් විදිහට .
"ඒ හැම තනතුරක් ම සමාජේ ඉන්න අනිත් අයට විතරයි මින්හී . ඔයා මාව ඒ විදිහට දකිනවට මම කැමති නෑ . ඔයා එක්ක ඉන්නකොට ඒ හැමදෙයක් ම අමතක කරලා මම ඔයාගේ ටේහ්‍යුන්ග් , ඔයාගේ නම්ජා චින්ගු විතරමයි" .
"ඒත්... හැමෝම එහෙම හිතන්නේ නෑ ටේහ්‍යුන්ගා . ඔයාගේ පවුලේ කට්ටිය මට කැමති වෙයිද??? ඔයා මම ගැන හැමදේම දැනගෙන මට ආදරේ කළත් ඔයාගේ ගෙදර අය???" මම ඇහුවේ අවිනිශ්චිතබවක් තැවරුණු හඬකින්. අපි මුලින් ම ආදරේ කරද්දී ඇත්තටම මට මේ දේවල් ගැන තේරුමක් තිබුනේ නෑ , මට ආදරේ දැනුන හිතට මමත් ආදරේ කළා. ඒත් දැන් ඒ දේවල් ගැන ඒ විදිහට සැහැල්ලුවෙන් හිතන්න බැරි තරමට අපි වයසින් මුහුකුරා ගිහින් . ටේහ්‍යුන්ගා සමහරවිට ඒ දේවල් ගැන ගැඹුරට හිතන්නේ නැති වෙන්න පුලුවන් . ඒත් එයා එයාගේ පවුලේ අයගෙන් කොච්චර ඈත්වෙලා හිටියත් මම එයාගේ ජීවිතේ කොටසක් වෙන්න නම් එයාගේ ඔම්මා අප්පා මාව පිළිගන්න ඕන . ඒත් එයාලා මාව පිළිගන්න තරම් සමාජ මට්ටමක, පවුල් පසුබිමක මම නෑ කියලා මම හොඳටම දන්නවා.
"එයාලා කාගෙවත් අදහස් වැදගත් වෙන්නේ නෑ " ටේහ්‍යුන්ගා කිව්වේ ටිකක් රළු විදිහට .
"ඒත් ටේහ්‍යුන්ගා ...."
"මින්හී...." ටේහ්‍යුන්ග් එයාගේ අතේ තිබුන chopsticks දෙක මේසය උඩට අතෑරියේ ටිකක් කේන්තියෙන් වගේ .
"මගේ ජීවිතේ හැම තීරණයක් ම ගත්තේ මම , ඒ ගත්ත කිසිම තීරණයක් ගැන මම පසුතැවිලි වෙන්නේ නෑ . ඒ තීරණ නිසා තමයි මට මගේ ම ආයතනයක් එක්ක මේ ඉන්න මට්ටමට එන්න පුලුවන් උනේ. ඉතින් මගේ පෞද්ගලික ජීවිතේ ගැන තීරණ ගන්නෙත් මම , එයාලා කවුරුත් නෙවෙයි . මම ඔයාව මගේ ජීවිතේ කරගත්තේ මීට අවුරුදු හතකට කලින් , ඒ තීරණේ තාමත් කිසිම විදිහකින් වෙනස් වෙලා නෑ අනාගතේදී වෙනස් වෙන්නෙත් නෑ . ඔයත් ඒ විදිහට ම මටත් ආදරේ කරනකල් වෙන කිසිම දෙයක් මට අදාළ නෑ . " ටේහ්‍යුන්ගා කිව්වේ ඉවසීමෙන් උනත් එයාගේ වචනවල තිබුනේ දැඩිබවක් නිසාම මම හෙමින් සැරේ එයාගේ අතකින් අල්ලාගත්තා.
"මම ඒක දන්නවා. මමත් ඔයාට ඒ විදිහට ම හැමදාටම ආදරේ කරනවා. ඒත් ... ඒත් ඔයා මම නිසා ඔයාගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙනවට මම කැමති නෑ , ආයෙත් "
"ඒ කිසිම දෙයක් ගැන හිතන්න ඕන නෑ මින්හී . ඒ දේවල් ගැන හිතන්න කාලය ආවම අපි ඒ ගැන හිතමු ...
දැන් ඊට කලින් ඔය ramen එක ගැන හිතන්න" ටේහ්‍යුන්ගා එකපාරටම මාතෘකාව වෙනස් කරලා ආපහු chopsticks දෙක අතට අරගත්තා .
.
.
.
"ටේ.. මම හෙට ඉදන් ආපහු ඔෆිස් යනවා" මම කිව්වේ ටේහ්‍යුන්ගා ආපහු යන්න ලෑස්ති වෙද්දී .
"ඔයාට ඇත්තටම යන්න ඕනද???" ටේහ්‍යුන්ගා මගේ බැන්ඩේජ් අයින් කරලා නිසා පේන්න තිබුන තුවාල කැළැල් දිහා ආපහු සැරයක් බලලා ඇහුවේ බැරෑරුම් විදිහට .
"ඔලුව තුවාල උන එක හොඳටම හොඳයි දැන් . අනිත් එක ඔයත් නැති නිසා මම ඉක්මනට ආපහු වැඩට යන එක හොඳයි නේද ???"
"මියානේ ඔයාට තව සතියක් මගේ වැඩත් එක්කම බලන්න වෙනවා. ලබන සතියේ අලුත් ගේම් එක launch කළාට පස්සේ මට ආපහු kim cooperation එකට එන්න පුලුවන් ."
"අනී ඒක ප්‍රශ්නයක් නෑ . දැනට වැඩ කරන project දෙකක වගේ වැඩ විතරක් තියෙන නිසා මට වැඩ ටික කරගන්න පුලුවන් . ඒත් කලින් සැරේ වගේ හන් ජ්‍යොන්ග් සුන්බේ ප්‍රශ්නයක් ඇති කළොත් නම්...."
"ආපහු එහෙම වෙන්නේ නෑ . හන් ජ්‍යොන්ග් ආපහු ප්‍රශ්නයක් ඇති කළොත් ඒක එයා කිම් කෝපරේෂන් එකේ ඉඳන් කරන අන්තිම දේ වෙයි. Chief Financial Officerට තියෙන්න ඕන දක්ෂතාව, අත්දැකීම් ඔයාට තියෙන නිසයි මම ඔයාට ඒ වගකීම දෙන්නේ මින්හී. හන් ජ්‍යොන්ග් වගේ කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් නෑ " ටේහ්‍යුන්ගා අන්තිමට එහෙම කිව්වේ කටකොණකට නැඟුන හිනාවක් එක්ක. ඔව් ඉතින් මේ මුරණ්ඩුකාරයා කරන දේවල් නතර කරන්න පුලුවන් කාටද???
"එහෙනම් හෙට උදේ ලෑස්ති වෙලා ඉන්න , මම ආර්ක් එකට යන්න කලින් ඔයාව කිම් කෝපරේෂන් එකට එක්කරගෙන යන්නම් " ටේහ්‍යුන්ගා කිව්වේ හෙමින් සැරේ දොර දිහාට යන අතරේ .
"අනී මට තනියෙන් යන්න පුලුවන් " මම කිව්වේ එයාට ඒක කරදරයක් නිසා .
"ඒක වෙන්නේ නෑ කොහෙත්ම " ටේහ්‍යුන්ගා ටිකක් තදින් වගේ එහෙම කියද්දි මටත් එකපාරටම දැනුන කේන්තිය එක්ක මමත් ආපහු එයාගේ ඇඟට කඩන් පැන්නා .
"යාහ් මට තනියෙන් යන්න පුලුවන් ... මීට කලින් මම තනියෙන් ඔෆිස් එකට ගිහින් නැද්ද ???" මම එහෙම කිව්වට පස්සේ ටේහ්‍යුන්ගා ආපහු හැරිලා මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව එයාගේ පැත්තට හරවාගත්තා. මම කතා කරපු විදිහට එයාගේ ඇස්වල මම දැඩි පෙනුමක් බලාපොරොත්තු උනත් ඒ ඇස්වල ඇත්තටම තිබුනේ ආයාචනාත්මක බවක්.
"මින්හියා... මම දන්නවා ඔයාට තනියෙන් යන්න පුලුවන් කියලා . ඒත් .. ඒත් ඔයාට හොඳටම හොඳ වෙනකල්වත් . ම්ම්ම්"
"ඒත් ඒකෙන් ඔයාට තවත් වැඩ වැඩි වෙන එක වෙන්නේ . ආර්ක් එකේ වැඩත් එක්ක ඔයාට ගොඩක් වැඩ වැඩියි, ඉතින් මමත් ඔයාට බරක් වෙන්නේ කොහොමද ටේ??" මම ඇහුවේ එයාට මම කියන දේ තේරුම් කරවන අදහසින්
"මම ඔයාට කෝල් කරද්දී ඔයා ඇක්සිඩන්ට් උනා කියලා හොස්පිටල් එකෙන් කියද්දි මම කොච්චර බය උනාද කියලා දන්නවද මින්හියා??? තාමත් ඒ බය මගේ හිතේ තියෙනවා . ඉතින් ඔයා ඇත්තටම මට බරක් වෙන්න කැමති නැත්නම් උදේට මාත් එක්ක කිම් කෝපරේෂන් එකට යමු. ඔයා පරෙස්සමින් ඔෆිස් එකට ගියා කියලා මගේ ඇස් දෙකින්ම බලාගත්තට පස්සේ ඇත්තටම මට ලොකු සහනයක් දැනෙයි හිතට." ටේහ්‍යුන්ගා මගේ දිහා බැලුවේ ආයාචනාත්මක විදිහට , ඒ ඇස් දිහා බලාගෙන බෑ කියන්න බැරි නිසා වගේ ම ඒ වචනවල තැවරිලා තිබුන අවංක හැඟීම් නිසාම මම හෙමින් සැරේ ඔලුව වැනුවේ කැමතියි කියන්න .
"එහෙනම් හෙට උදේට මාව එක්කරගෙන යන්න එන්න"
"ගුමාවොයෝ මින්හියා මාව තේරුම් ගත්තට" ටේහ්‍යුන්ගා කිව්වේ යන්තමට එයාගේ මූණේ මැවුන boxy smile එකත් එක්ක.
"අන්න්‍යොන්ග්. චල්චායෝ නේ සරන්ග් " ටේහ්‍යුන්ගා එහෙම කිව්වත් එයාගේ ඇස් යොමු වෙලා තිබුනේ මගේ දෙතොල්වලට . ඒත් එයාට කලින් ඇඟිලිතුඩු වලින් ඉස්සුන මම අත් දෙක ටේහ්‍යුන්ගාගේ බෙල්ල වටේ එතෙන අතරේ එයාගේ තොල්වලට බර උනා.
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඔන්න ඊලග කොටස ඉක්මනට අප්ඩේට් කරනවා. කතාවේ මෙච්චර කාලෙකට අමාරුවෙන් ම ලිව්ව කොටස (ඇත්තටම romance එකයි මමයි අතර ප්‍රශ්නයක් තියෙයි වගේ මම හිතන්නේ🙈🙈 ) වෙනදට වඩා ටිකක් පොඩි කොටසක් වගේ අද දැනෙන්නේ . ඔයාලාට දැනෙන්නේ කොහොමද කියලා කියාගෙන යන්න අමතක කරන්න එපා යාලුවනේ . ඊලග කොටසත් ඉක්මනට දෙන්න උත්සාහ කරන්නම්
සරන්ග්හේ චින්ගුදල් . හැමෝම පරෙස්සමින් ඉන්න 😘😘😘😘😘😘
Edited and republished on 16/04/2023
Bạn đang đọc truyện trên: AzTruyen.Top