Chapter 40
( Aluth cover eka dekkada lamaiiii.....👆🙂 )
_____________________________________
You will face many defeats in life,but never let yourself be defeated.
- Maya Angelou -
_____________________________________
කහ පාට විදුලි බුබුලකින් මුදා හැරුනු මලානික ආලෝකයෙන් එළිය වුණු පැරණි ගොඩනැගිල්ලේ පැත්තකට වෙන්න තිබුනු ලී පුටුවක වාඩි වෙලා හිටපු මැදිවියේ පිරිමි කෙනා ඔහුගේ ඉස්සරහ උන්නු තරුණයා දිහා බලාගෙන හිටියේ මුවේ තිබුනු සිගරෙට්ටුව ඇගිලි අතරට ගන්න ගමන්.තරුණයාගෙන් ඇස් ඉවතට නොගෙනම ඔහු සියහඩ අවදි කලේ මුවින් දුම් රැලි කීපයක් පිට කළාට පස්සේ...
"ඉතින්.....?!"
ඔහුගේ හඩේ තිබුනේ ඒ ඇස්වල තිබුනු නපුරු දිස්නෙට ගැලපෙන ම නපුරු උද්‍යෝගිමත් බවක්.
"හැමදේම හරි ජැන්ග් හ්‍යුක්..."
තරුණයා කිව්වේ ඔහුගේ වචන ඇහුනු ගමන් ම කට කොනින් හිනා වුනු ජැන්ග් හ්‍යුක්ගේ මූණ දිහා කෙලින් ම බලමින්.
"එයා එන්නේ තනියෙන් කියලා විශ්වාසයිද..?"
ජැන්ග් හ්‍යුක් ඇහුවේ සිගරෙට්ටුව ඔහුගේ අතැගිලි අතරේ කරකවමින්.
"ඔව්...විශ්වාසයි..."
තරුණයාගේ හඩ ඒ තරම් උස් නොවුනත් ජැන්ග් හ්‍යුක්ට ඔහු කියපු දේ පැහැදිලිව ඇහුනෙ මුලු පරිසරයම ඉදිකටුවක් බිමට වැටුනත් ඇහෙන තරමේ නිහඩතාවෙක ගිලිලා තිබුනු නිසා වෙන්න ඇති.
"ඔය තරම් විශ්වාසයක්...?!"
ඇහිබැමක් ඔසවන ගමන් ජැන්ග් හ්‍යුක් එහෙම ඇහුවේ තරුණයා ඔහු දිහා බලාගෙනම ඔව් කියමින් හිස වනද්දි.
"මින් යුන්ගි එයාගේ වටේ ඉන්න අයව පණ වගේ විශ්වාස කරනවා...එයාගේ හොදම යාලුවා එයාට තනියෙන් එන්න කියද්දි එයා කීයටවත් වෙන කාවවත් එක්ක එන්නේ නෑ..එයා අනිවාරෙන් ම එන්නෙ තනියෙන්..."
තරුණයා සිහින් ඒත් ස්ථීර හඩකින් කියද්දි ජැන්ග් හ්‍යුක්ගේ මූණේ ඇදුනේ පල් හිනාවක්.
"මේක නම් මාරයි..."
ජැන්ග් හ්‍යුක් කිව්වේ එයා වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා තරුණයා ගාවට ඇවිදගෙන එන ගමන්.
"වාව්....!!!"
ජැන්ග් හ්‍යුක්ගේ මුවේ ඇදුනු පල් හිනාව මහ හිනාවකට පෙරලෙන්න ගියේ තප්පරයයි..ඒ හිනාවේ සද්දේ මුලු ශාලාව පුරාම පැතිරිලා ගියේ තරුණයා හිස් බැල්මෙන් ඔහු දිහා බලාගෙන ඉද්දි.
"ආදරේට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද...මේ තරම් ද්‍රෝහීකමක්...?!!!"
ජැන්ග් හ්‍යුක් ඇස් දෙකත් ලොකු කරගෙන තරුණයා දිහා බැලුවේ ඒ දේ එයාට විශ්වාස කරගන්න බෑ වගේ.ඒත් එක්කම ආයෙමත් ඔහු පිස්සෙක් වගේ හිනා වෙන්න ගත්තේ නිහඩවම හිටගෙන ඉන්න තරුණයාගේ වටේට ඇවිදින ගමන්.
"හිතලා බලන්න.....මින් යුන්ගිට කොහොම දැනෙයිද එයා මේ ලෝකේ වැඩියෙන් ම වෛර කරන කෙනා වුනු මේ මං ගාව එයා මේ ලෝකේ වැඩියෙන් ම විශ්වාස කරන අයගෙන් කෙනෙක් වුනු ඔයා මෙහෙම ඉන්නවා දැක්කම..."
ජැන්ග් හ්‍යුක් තරුණයාගේ මූණටම එබුනේ බොරු කණගාටුවක් මවාගෙන.
"තමුන් තමුන්ගේ ආදරේ රැකගන්න එයාව පාවලා දුන්නා කියලා දැනගත්තම අර අහින්සක මින් යුන්ගි මොනවා කරයිද....!!"
ජැන්ග් හ්‍යුක් තරුණයාගේ ඉස්සරහ නතර වුනේ ඔහුගේ මූණේ තිබුනු බොරු කණගාටුව ආයෙමත් අර සුපුරුදු පල් හිනාවට හැරෙද්දි.
"මින් යුන්ගිට මේ ලෝකේ ඉන්න ලොකුම හතුරා වුනු මගේ අතටම එයාව ගෙනත් දෙන්න තරම් ඔයා ආත්මාර්තකාමි වුනා එහෙනම්......?!!!"
ජැන්ග් හ්‍යුක්ගේ කතා ඔක්කොම දත් මිටි කාගෙන අහගෙන හිටපු තරුණයා ජැන්ග් හ්‍යුක්ගෙ ඇස් දිහා බැලුවේ වේදනාව වගේම කේන්තිය මුසු වුනු බැල්මකින්.
"කට වහගන්නවා ජැන්ග් හ්‍යුක්.....!!!!"
තරුණයා අත් මිටි මොලවාගෙන ලොකු හුස්මක් ගත්තෙ ජැන්ග් හ්‍යුක් පුදුමයෙන් වගේ ඔහු දිහා බලන් ඉද්දි.
"ඕකේ ඕකේ බෝයි කූල් ඩව්න් කූල් ඩවුන්......"
"මට ඕනි දේ මට ලැබුනු ගමන් ම තමුන්ට ඕනි දේ නිකන් ම තමුන්ගේ අතට එයි..!"
ජැන්ග් හ්‍යුක් කිව්වේ මෙච්චර වෙලා බොරුවට කරපු විකාර නවත්තලා කට කොනකින් හිනා වෙන ගමන්.තරුණයා දිහා තව එකපාරක් බලපු ඔහු අතේ තිබුනු සිගරෙට්ටුව බිමට දාලා පාගගෙන ම එතනින් ඉවතට ගියේ තරුණයාව එතන තනිකරමින්.
ජැන්ග් හ්‍යුක් ඉවතට යනකම් හිටපු තරුණයා එතනම බිම වාඩි උනේ ජැන්ග් හ්‍යුක් ඉද්දි හිර කරගෙන හිටපු හැම හැගීමක්ම වේදනාවක්ම තව දුරටත් පාලනය කරන්න උත්සාහ නොකර ගලාගෙන යන්න ඉඩ දෙමින්.
"ම්..මට සමාවෙන්න යූන්ගි..."
විශාල ශාලාවේ බිම දණගහගෙන හිටපු තරුණයා තදින් නෙත් පියාගනිද්දි ඔහුගේ ඇස්වලින් පිටවුනු කදුලු බිදු දෙකක් කම්මුල් දිගේ ගලාගෙන ගියේ ඔහුටත් නොදැනී.
"ම්..මේ තරම් දරුණු දෙයක් කරන්න ත්..තරම් ආත්මාර්තකාමි වෙන්න වුනාට මට ස්..සමාවෙන්න...ඒත්..ඒත් මට එයාව නැති කරගන්න බෑ යුන්ගී...මට වෙන ක්..කරන්න දෙයක් නෑ...ප්ලීස් ම්..මට සමාවෙන්න....!!!"
____________________________________
දිවා රෑ වෙනසක් නැතිව පැය විසි හතරම එක වගේ කාර්‍යබහුල ගුවන්තොටුපොළ දීප්තිමත් කෘතිම ආලෝකයන්ගෙන් ආලෝකමත් වෙලා තිබුනේ දවල් කාලයේ වගේමයි.ගුවන්තොටුපොළට ඇතුලු වෙන වගේ ම එහි ඉදන් පිටවෙන හැමෝම හිටියේ ඔවුන්ගෙම ලෝකවල..
සමහරු සතුටින් හිනාවෙද්දි තවත් සමහරුන්ගේ මූණවල් පිරිලා තිබුනේ වේදනාවෙන්.ඒ අතරේ කිසිම හැගීමක් නැතිව ඉන්න මිනිස්සුත් නොහිටියා නෙමෙයි..
හරියට සුදු පාට සීතල කණුවකට හේත්තු වෙලා නම්ජූන් කියන එක එක ඒවට හූමිටි තියමින් උන්නු හෝසෝක් වගේ.
නම්ජූන් කියන්නේ මොනවද කියලා හෝසෝක්ට අදහසක් තිබුනේ නෑ..එයාගේ ඔලුව පිරිලා තිබුනේ වෙන වෙන දේවල්වලින්..හෝසෝක් දන්නවා තව විනාඩි කීපයකින් ජන්ග් වූ සන්ග් එයාලාගේ ඉස්සරහට ආවාම එයා කීයටවත්ම සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැසිරෙන්නේ නෑ කියලා...හෝසෝක්ගෙම වචනවලින් කියනවානම් තාත්තාගේ ඒ විකාර වැඩවලට හෝසෝක් දශමයක්වත් කැමති වුනේ නෑ.
ඒ ඔක්කොටම වඩා හෝසෝක්ගේ හිතට වද දුන්නේ යුන්ගිව තනියෙන් රෝනා ප්ලේස් එකේ දාලා ආපු එක.ජින් සූබින් දෙන්නා රෝනා ප්ලේස් එකේ හිටියත් හෝසෝක්ට හිත හදාගන්න ඒ මදි වගෙයි දැනුනේ..හේතුවක් නොදන්නවා වුනත් යුන්ගිගෙන් ඈත් වුනු තප්පරේ ඉදන් ම හෝසෝක්ට හිතුනේ මොකක්ම හරි දෙයක් වැරදියි වගේ...මොකක්ම හරි අවුලක් තියනවා වගේ..ඒක හරියට මොකක් හරි නරක දෙයක් සිද්ද වෙන්න කලින් අර හදවතට දැනෙන අමුතු හැගීම වගේ..
ඒ නිසාම සාක්කුවේ තිබුනු ෆෝන් එක අතට ගත්තු හෝසෝක් ඒකේ ලොක් එක ඇරියේ යුන්ගි ගැන හිතන ගමන්මයි.කන්ටැක්ට් ලිස්ට් එක ගත්තු හෝසෝක් ඒකෙ යුන්ගිගෙ අන්කෙ හොයන්න ගත්තේ එකපාරටම එයාට යුන්ගිට කෝල් කරන්න උවමනාවක් දැනුනු නිසයි.
ඒත් යුන්ගිට කෝල් කරන්න එයාගේ අංකේ ටච් කරන්න හදද්දිම හෝසෝක් නතර වුනේ නම්ජූන්ගේ හඩින්.
"එයා එනවා..."
නම්ජූන් කිව්වේ එයාලට අඩි දහයක් විතර ඉස්සරහින් ඇවිදගෙන එන කෙනාව පෙන්නන ගමන්.
ඔවුන්ගේ ඉස්සරහ හිටියේ කලු පාට කලිසමට තද නිල් පාට ශර්ට් එකක් ඇදලා ඒකට උඩින් කලුපාට දිග කෝට් එකක් ඇදගෙන හිටපු අවුරුදු පනස් පහක පමණ කඩවසම් පිරිමි කෙනෙක්...අයිස්ඩ් කොෆී එකක් බොන ගමන් ඔහු තමන්ගේ දිහාට එන හැටි හෝසෝක් බලාගෙන හිටියේ හැගීම් විරහිත ඇස්වලින්.
ඒ පිරිමි කෙනාගේ ඇස් හෝසෝක්ලා දිහාට යොමු වුනේ ඒත් එක්කමයි..ඒ වෙලාවෙ යුන්ගිට කතා කරන්න බැරි බව තේරුම් ගත්තු හෝසෝක් ෆෝන් එක ලොක් කරලා ආයෙමත් සාක්කුවට දගත්තේ නම්ජූන් එක්ක පියවර කීපයක් ඉස්සරහට යන ගමන්.
"මං මේ දකින්නේ හීනයක්ද...නැත්නම් ඔයාලා ඇත්තටම මාව එක්ක යන්න මෙතනට ඇවිත්ද...?"
පිරිමි කෙනා ඇහුවේ හෝසෝක්ලා ලගට ඇවිත් නතර වෙන ගමන්.හෝසෝක් මොකුත් නොකියම ඇස් දෙක රෝල් කලේ අත් දෙකම සාක්කුවලට ඔබාගන්න ගමන්.
"විකාර....."
හෝසෝක් මිමිනුවේ ඇහෙන නෑහෙන හඩින්.ඒත් එකපාරටම හෝසෝක් එයාගේ බඩ අල්ලගෙන ඉස්සරහට නැමුනේ එකපාරටම දැනුනු වේදනාව නිසා.
"මොන හු___ !!!!"
හෝසෝක් කටට ආපු වචනෙ ගිලගත්තේ බඩට වැදුනුපාර ගැහුවෙ කවුද කියලා දැක්කට පස්සෙ...
"මොන හු නෙමෙයි මං ජන්ග් වූ සන්ග් උබේ තාත්තා...නයිස් ටු මීට් යූ හෝසූකී.....!"
කට කොනින් හිනා වෙන ගමන් හිටපු ජන්ග් වූ සන්ග් හෝසෝක්ගේ උරහිසට තට්ටු කරන ගමන් කිව්වේ අතේ තිබුනු අයිස්ඩ් කොෆී කප් එක බලෙන් ම හෝසෝක්ගේ අතින් තියන ගමන්.
"කීපාරක් කියන්න ඕනිද මං හෝ...සූ...ක්.. නෙමෙයි හෝ...සෝ...ක්... කියලා.....!!!"
හෝසෝක් කිව්වේ ජන්ග් වූ සන්ග් බලෙන් ම එයාගෙ අතින් තිබ්බ කොෆී කප් එක ආයෙමත් ඔහුගේ අතින් තියමින්..
ඒත් හෝසෝක් දිහා බලලා හිනා වුනු ජන්ග් වූ සන්ග් හෝසෝක්ට ඇහැක් ගැහුවේ ආයෙමත් කොෆී කප් එක හෝසෝක්ගේ අතින් ම තියන ගමන්.
"ඒ වුනාට මං කියන්නේ මං ආස නම......හෝ...සූ.....කී......!!!"
ජන්ග් වූ සන්ග් තාලෙට වගේ කියද්දි අතේ තිබුනු කොෆී කප් එක ලග තිබුනු ට්‍රෑශ්කෑන් එකට දමලා ගහපු හෝසෝක් එතනින් අයින් වෙලා එලියට ගියේ දත් මිටි කන ගමන්.
හෝසොක් චූටි කාලේ ජන්ග් වූ සන්ග් මොන දේ කළත් තමන්ගේ වැරැද්ද තේරුම් ගත්තට පස්සේ ජන්ග් වූ සන්ග් හැමදාම උත්සාහ කලේ හෝසෝක්ට ලන් වෙන්න.ඇත්තටම කියනවානම් ජන්ග් වූ සන්ග් මාෆියා ලීඩර් කෙනෙක් වුනාට එයා හෝසෝක් වගේ තද ගතුගුණ තියන කෙනෙක් නෙමෙයි.මොන ප්‍රශ්නෙක හිටියත් ජන්ග් වූ සන්ග් ගේ මූණේ හිනාවක් නැති වුනේ නෑ..
ඒ වගේම එයා එයාගේ වටේ ඉන්න අයගේ මූණුවලටත් හිනාවක් ගේන විදිහටයි හැසිරුනේ...තමන්ගෙ රැකියාවෙදි මොන තරම් දැඩි වුනත් එතනින් එහාට ගියාම ජන්ග් වූ සන්ග් කියන්නේ උණුසුම් මනුස්සයෙක්.සීරෝ එකේ හැමෝටම එයා සැලකුවේ එයාගෙම දරුවන්ට වගේ..ඒ වගේමයි සීරෝ එකේ අයත්.හෝසෝක් ඇරෙන්න අනිත් හැමෝම එයාට ආදරේ කලේ තාත්තා කෙනෙක්ට වගේ.
එයාට නොලැබුනේ එයාගෙම දරුවා වුනු හොසොක්ගේ ආදරේ විතරයි..ඒත් එයා තවමත් උත්සාහය අත් ඇරලා නෑ..අවුරුදු ගානක් තිස්සේ හෝසෝක්ගේ නොසලකා හැරීම් ගානකටවත් නොගෙන ජන්ග් වූ සන්ග් තාමත් හෝසෝක්ට ලන් වෙන්න උත්සාහ කරන්නේ කවදාහරි දවසක හෝසෝක් එයාට සමාව දෙයි කියන බලාපොරොත්තුවෙන්.
වේගෙන් ඇවිදගෙන යන හෝසෝක් දිහා හිනා වෙවී බලාගෙන හිටපු ජන්ග් වූ සන්ග් ඊගාවට හැරුනේ ඩිම්පල් හිනාවකුත් මූණේතියාගෙන හෝසෝක් ගිය දිහා බලාගෙන ඉන්න නම්ජූන් පැත්තට.
"එයා තාමත් මාව ඈත් කරන්නයි උත්සාහ කරන්නේ නේද.."
ජන්ග් වූ සන්ග් කිව්වේ වේදනාවෙන් හිනා වෙන ගමන්.එයාට ඒ වේදනාව හොදට හුරුයි..මොකද එයා හෝසෝක්ගේ නොසලකා හැරීම් අත් විදින්නේ පොඩි කාලෙක ඉදන් නෙමෙයි අවුරුදු ගානක ඉදලා..ඒ නිසාම වෙන්න ඇති ඒ වේදනාව අස්සෙනුත් හෝසෝක් දිහා බලන් එයාට හිනා වෙන්න පුලුවන් වුනේ.
නම්ජූන් හිනා වුනේ ඔහුගේ කිට්ටුවට යන ගමන්.
"නෑ...ඒ එයා ඈත් වෙන්න උත්සාහ කරනවා නෙමෙයි,ළන් නොවී ඉන්න උත්සාහ කරනවා..."
නම්ජූන් කිව්වේ ජන්ග් වූ සන්ග්ගේ මූණට ආයෙමත් ළා හිනාවක් එද්දි.
"මගේ පුතා සාධාරණයි නම්ජූනා....ගින්දරට පිච්චුනු මනුස්සයා ඒකේ වේදනාව මතක තියනකම් කරන්නේ ඉටිපන්දම් දැල්ලකින් පවා ඈත් වෙලා ඉන්න එක...මොකද එයාලා දන්නවා ඒකේ වේදනාව....."
නම්ජූන් නිහඩවම ජන්ග් වූ සන්ග් ලගට ගිහින් ඔහුව වැලදගත්තේ දිග කාලයක් තමන්ගේ තාත්තාගෙන් වෙන් වෙලා හිටපු පුතෙක් තමන්ගේ තාත්තව වැලදගන්නවා වගේ ආදරෙන්.
"ඒ හදවත ගල් වුනු මිනිස්සු...ඒත් හදවත ගැහෙන මිනිස්සු හරියට පලගැටියෝ වගේ අන්කල්....ආදරේ කරන්නෙම ගින්දරට....මොකද අවසානය මොකක් වුනත් එයාලට ඕනි කරන්නේ උණුහුම...."
නම්ජූන් කියද්දි ජන්ග් වූ සන්ග් හිනා වුනේ නම්ජූන්ගෙන් ඈත් වෙලා ආයෙමත් බුද්ධිමත් තරුණයාගේ දිහා ආඩම්බරයෙන් බලමින්.
"තෑන්ක් යූ පුතා.."
___________________________________
එකපෙළට පිහිටලා තිබුනු වගාබිම් යායක් මැදින් වැටිලා තිබුනු අබලන් පාර දිගේ යුන්ගි කාර් එක පදවගන ගියේ වේගයෙන්.රෝනා ප්ලේස් එකෙන් පිටවෙලා ඇවිත් පැය එකහමාරක් විතර ගෙවිලා තිබුනත් යුන්ගි හිටියේ ටේයෝන් එවපු ලොකේශන් එකට පැය බාගෙක විතර දුරකින්.
ටේයෝන්ගේ කෝල් එක ආපු වෙලේම යුන්ගි පිටත් වෙන්න හැදුවත් එයාට විනාඩි දහයක් විතර පරක්කු වෙන්න වුනේ සූබින් එයා එක්ක කතා කරකර හිටපු නිසයි.ඒත් සූබින් කාමරයට යනකම් හිටපු යුන්ගි ඒ ගමන් ම එදා හෝසෝක් එක්ක එද්දි ආපු එයාගේ කාර් එකත් අරන් රෝනා ප්ලේස් එකෙන් පිට වුනේ පුලුවන් තරම් ඉක්මනින් ටේයොන් කියපු තැනට යන උවමනාවෙන්.
අවුරුදු ගානක් තිස්සේ යුන්ගි කාර් එකක් ඩ්‍රයිව් කරලා තිබුනේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්.ඒත් ඩ්‍රයිවින්වලට තිබුනු බය සම්පූර්නෙන්ම අමතක කරලා දාලා යුන්ගි කාර් එකේ වේගය තවත් වැඩි කලේ ටේයෝන්ගේ හඩේ තිබුනු අසරණකම එයාට සැරින් සැරේ මතක් වෙද්දි.
ටේයොන් කතා කලේ මොකක් නිසා වුනත් යුන්ගිට දැනුනේ එයා ඉන්නේ මොකක්ම හරි ලොකු කරදරයක කියලයි.
පාක් ටේයෝන් කියන්නේ අතිදක්ශ පරීක්ශකවරයෙක්.තියුනු බුද්ධියක් වගේ ම ක්ශනික තීරණ ගන්න පුදුම හැකියාවක් තිබුනු කෙනෙක්.ඒ වගේ ම කිසිම වෙලාවක ලේසියෙන් සැලෙන්නේ නැති ශක්තිමත් පෞරුෂයක් තිබුනු කෙනෙක්.ඒ නිසායි ටේයෝන් අර තරම් අසරණ විදිහට කතා කරද්දි යුන්ගි බය වුනේ...
ඒ නිසාමයි යුන්ගි කල්පනා කරකර නොයිද පුලුවන් වුනු පළවෙනි තප්පරේම ටේයෝන්ව හොයාගෙන දුවගෙන ආවේ.ටේයෝන් කියන්නෙ යුන්ගිගේ හොදම යාලුවා..ඒ වගේම එයාට හිටපු ලගම නෑයා..ඒ හැමදේටම වඩා යුන්ගිගේ සහෝදරයෙක් වගෙ එයාගේ ලගම හිටපු කෙනා..ඉතින් එහෙම එකේ ටේයොන් කතා කරපු මොහොතෙම යුන්ගි මේ විදිහට දුවගෙන ආපු එක පුදුමයක් නෙමෙයි.
ඒ තරම් එයා එයාගේ ලගම ඉන්න අයව විශ්වාස කලා.එයාලට ආදරේ කලා.
ඒ ගැන හිතමින්ම යුන්ගි කාර් එක ඩ්‍රයිව් කරගන ගියේ වේගයෙන්.විනාඩි දහයක් විතර යද්දි පාර දිගට තිබූනු වගාබිම් වෙනුවට ඒ හරියේ තිබුනේ අත් ඇරලා දාපු ගොඩනැගිලි කීපයක්.අදුර නිසා හරියටම නොපෙනුනත් ඒ තියෙන්නේ වල් වැදුනු ග්‍රීන් හවුස් කියලා අදුරගන්න යුන්ගිට බැරි වුනේ නෑ.
ටේයෝන් එවපු ලොකේශන් එක විදිහට පෙන්නුවේ ඒ ග්‍රීන් හවුස් පේලිය අන්තිමට වෙන්න තිබුනු තරමක් උස ලී ගොඩනැගිල්ලක්.
පාරේ අයිනට වෙන්න කාර් එක නවත්තපු යුන්ගි මොහොතක් කාර් එක ඇතුලේ ඉදන් ම බලාගෙන හිටියේ කාර් එකේ විදුලි පහන් ආලෝකයෙන් එලිය වැටිලා තිබූනු නාමපුවරුව දිහා.
දිරාපත් වෙලා ගිහින් තිබුනත් ඒකෙ ලියලා තිබුනෙ "SUNRAY FARM HOUSE" කියලා..ඒ දිහා මොහොතක් බලාගෙන හිටපු යුන්ගි නලල රැලි කරගත්තේ ටේයොන් තමන්ට මේ වගේ තැනකට එන්න කිව්වේ ඇයි කියලා හිතන ගමන්.
ඒත් ටේයෝන් තමන්ට පුලුවන් තරම් ඉක්මනට එන්න කියපු බව මතක් වුනු සැනින් යුන්ගි කාර් එකෙන් බැස්සේ තවත් දැනටමත් තමන් පරක්කුයිද කියලා හිතන ගමන්.
ඇදගෙන හිටපු සුදුපාට ස්වීටර් එකට උඩින්ම කාර් එකේ තිබිලා ගත්තු කලු පාට ජැකට් එක දාගත්තු යුන්ගි බාගෙට විවර කරලා තිබුනු ගේට් එක ගාවට ගියේ කැප් එකත් පැලදගන්න ගමන්.
කලින් කියපු අර ලී ගොඩනැගිල්ලේ යන්තමින් විදුලි ආලෝකයක් දැල්වෙන බව යුන්ගි දැක්කේ ගේට් එකෙන් පියවර කීපයක් ඇතුළට යද්දියි.
ෆෝන් එක සාක්කුවෙ තියන බව සැක හැර දැනගත්තු යුන්ගි ගොඩනැගිල්ල දිහාට යන්න ගත්තේ අඩසදේ එලියෙන්.
රැහැයියන්ගේ කන් බීරිකරවන සද්දෙයි හුලගට අතු හෙලවෙන සද්දෙයි හැර මුලු පරිසරයෙම තිබුනේ පුදුම නිහඩතාවයක්.
ඒත් ඒ ගැන යුන්ගිට ගානක් තිබුනේ නෑ..එයාගේ මුලු ඔලුවම පිරිලා තිබුනේ ටේයෝන්ව දකින අරමුණෙන්.
නිහඩවම පියවර තියමින් යුන්ගි ලන් වුනේ ගොඩනැගිල්ලේ ලී දොර ගාවට.
එතන නැවතුනු යුන්ගි වටපිට බැලුවේ ඒ කොහේ හරි ටේයොන් ඉන්නවද කියලා බලමින්.ඒත් කිසිම කෙනෙක් නැති වෙද්දි යුන්ගි දොර ගාව ඉදන් ටේයොන්ගේ නම කියමින් කතා කරන්න ගත්තේ කොහේහරි ඉදන් ටේයොන් මතු වෙයි කියන බලාපොරොත්තුවෙන්.
"ටේ......"
"ටේයෝන්....."
ඒත් ටේයෝන් තියා කිසිම කෙනෙක් නැති වෙද්දි යුන්ගි ශාලාවේ දොරට තට්ටු කරන්න උත්සාහ කලේ ඇතුළට ආලෝකයක් තියෙන්නේ ඇතුලෙ කවුරු හරි ඉන්න නිසා කියලා අනුමාන කරමින්.
ඒ තට්ටුවෙන් නොහිතපු විදිහට දොර ඇතුල් පැත්තට විවර වුනේ යුන්ගිට ශාලාව ඇතුලත සම්පූර්නෙන්ම පේන විදිහට.
'මේ මොකක්ද මේ..ඇයි ටේයෝන් මට මෙතෙන්ට එන්න කිව්වේ...."
ඒත් යුන්ගිගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
යුන්ගිට පිටිපස්සෙන් දොර මහ හඩින් වැහෙද්දි ගැස්සිලා ගියපු යුන්ගි පිටිපස්ස හැරෙද්දි දැක්කේ එයා ආපු දොර ගාව හිටගෙන ඉන්න මූණ වහගත්තු උස පිරිමි අය දෙන්නෙක්ව.
පියවරක් පිටිපස්සට ගිය යුන්ගි එයාලා දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ.
"ත..තමුසෙලා කවුද...?"
යුන්ගි ඇහුවේ හෙමින් හෙමින් තමන්ගේ පැත්තට එන මිනිස්සු දෙන්නාගෙන් ඈතට පියවරක් පිටිපස්සට ගන්න ගමන්.
ඒත් තවත් පියවරක් පිටිපස්සට් යන්න කලින් යුන්ගි උන්නු තැනම් ගල් ගැහුනේ එයාගේ පිටිපස්සෙන් ඇහුනු කටහඩට..
"වාහ්...බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා...!!"
යුන්ගි මේ ලෝකේ අහන්න අකමැතිම කටහඩ..
ඒ සැනින් ම යුන්ගි පිටිපස්ස හැරුනේ ඇස් දෙකෙන්ගිනි පිටවෙද්දි..
ඒ හිටියේ යුන්ගි මේ ලෝකේ වැඩියෙන් ම වෛර කරන මනුස්සයා.
යුන්ගිට මේ ලෝකේ තිබුනු හැමදේම නැති කරපු කෙනා.
ලා කහ පාට විදුලි බුබුල මැදම හිටගෙන යුන්ගි දිහා බලාගෙන දුශ්ට විදිහට හිනවෙන ගමන් හිටියේ යුන්ගිව කලුවරට ඇදලා දාපු ඒ යක්ශ මිනිහා..
"ජැන්ග් හ්‍යුක්....!!!!"
යුන්ගි මිමිනුවේ දත් මිටිකන ගමන්.යුන්ගි කේන්තියෙන් ඔහු දිහා බලාගෙන දත් මිටිකද්දි ජැන්ග් හ්‍යුක් කට කොනින් හිනා වුනේ අත් දෙක සාක්කුවට දාගන්න ගමන්.
"එහෙනම් එයා කිව්වා හරි... ඔයා අන්තිමේදි ආවා....."
ජැන්ග් හ්‍යුක් ඇස් කොනින් යුන්ගි දිහා බලන ගමන් අහද්දි යුන්ගි ජැන්ග් හ්‍යුක් දිහා බැලුවෙ පිච්චිලා යන බැල්මකින්.ජැන්ග් හ්‍යුක්ට කියන්න කොච්චර ඒවා තිබුනත් යුන්ගිට ඒ හැමදේටම් කලින් ඕනි වුනේ ටේයෝන්ව හොයාගන්න එක.ටේයොන් එනවා කියපු තැන ජැන්ග් හ්‍යුක් ඉද්දි ටේයෝන්ට මොකක් හරි කරදරයක් කියලා තමන්ට ඒ දැනුනු හැගීම හරි කියලා යුන්ගිට තේරුනා...
"කොහෙද ටේයෝන්...?? තමුසේ එයාට මොකක්ද කලේ.....?!!!!"
යුන්ගි කෑ ගැහුවේ ජැන්ග් හ්‍යුක් පැත්තට තව පියවරක් තියන ගමන්.
ඒත් ජැන්ග් හ්‍යුක් කලේ යුන්ගි දිහා බලාගෙන කලින් වගේ ම කට කොනින් හිනා වෙන එක.ඒකෙන් යුන්ගිගේ කේන්තිය තවත් ඇවිස්සුනේ එයාගේ මූණ රතු වෙද්දි.
"කතා කරනවා ජැන්ග් හ්‍යුක්...!!!!!!!!!!"
"එයා ඉන්නවා...!"
ජැන්ග් හ්‍යුක් කිව්වේ සාක්කුවේ දාගෙන හිටපු අතක් එලියට අරන් කොන්ඩේ උඩට කරන ගමන්.
"තමුසේ එයාට මොනවාහරි කරල තිබුනොත් මං තමුසෙව ඉතුරු කරන්නේ නෑ ජැන්ග් හ්‍යුක්....!!!"
යුන්ගි කෑ ගැහුවෙ තවත් පියවරක් ඉස්සරහට තියන් ගමන්.
"මේ මං...?එයාට මොකුත් කරන්න..?"
ජැන්ග් හ්‍යුක් ඇහුවේ අහින්සක බැල්මක් මූණට ගනිමින්.යුන්ගිගේ ඇස් ජැන්ග් හ්‍යුක් දිහාටම එල්ල වෙලාතිබුනු නිසා ජැන්ග් හ්‍යුක්ට පිටුපසින් උන්නු මිනිස්සු තුන් දෙනාගෙන් කෙනෙක් ජැන්ග් හ්‍යුක්ට කිට්ටු වෙන හැටි යුන්ගි දැක්කේ නෑ.
"අනික මං මොකටද මගේ පැත්තට ඉන්න අයට මොකුත් කරන්නේ මිස්ටර් මින් යුන්ගි...?!"
ජැන්ග් හ්‍යුක් පල් හිනාවක් දාන ගමන් කිව්වේ යුන්ගි ඔහු කියපු දේ තේරුම් ගන්න බරිව බලාගෙන ඉද්දි.
"තමුසේ මොනවද ඔය කියවන්නේ....?!!"
යුන්ගි කේන්තියෙන්,ඒත් කුතුහලයෙන් අහද්දි ජැන්ග් හ්‍යුක් වෙනුවට උත්තර දුන්නේ වෙන කෙනෙක්.
"එයා කියන්නේ එයාට ඔයාව මෙතෙන්ට ගෙන්නගන්න උදව් කරපු කෙනා ගැනයි යූන්ග්ස්...."
යුන්ගිගේ නෙත් පුදුමයෙන් විවර වුනේ ඒ හුරුපුරුදු කටහඩ ඇහෙද්දි..
"ඒ කියන්නේ මේ මං ගැන..."
එහෙම කියාගෙනම ජැන්ග් හ්‍යුක්ගේ පිටිපස්සෙ ඉදන් ජැන්ග් හ්‍යුක් ගාවින් ඇවිත් හිටගත්තෙ යුන්ගි හීනෙන්වත් නොහිතපු කෙනෙක්....
යුන්ගිගේ ඇස් ලොකු වුනේ පුදුමයෙන්.එයා හිටියේ ඒ දකින දේ විශ්වාස කරගන්න බැරිව.ජැන්ග් හ්‍යුක් එක්ක ඒ කෙනා ඉන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැරිව..
ඔහු යුන්ගි දිහා බලාගෙන හිටියේ හීතල ඇස්වලින්.
ඔහුගේ මූණේ හිනා පොදක්වත් තිබුනේ නෑ...ඒ ඇස්වල කරුණාවක් තිබ්බෙත් නෑ..අඩුම තරමේ යුන්ගි දිහා බලද්දි ඒ ඇස්වල තිබුනු උණුහුමවත් තිබුනේ නෑ.
යුන්ගි පියවරක් පස්සට තිබ්බේ ඔහුගේ දිහා බලාගෙනමයි.
යුන්ගිගේ වෙව්ලන දෙතොල්වලින් පිට වුනේ ඔහුගෙ නම...ඒ හිටියේ යුන්ගි පණ වගේ විශ්වාස කරපු එයාගේ යාලුවා..
එයා මෙච්චර වෙලා හොයපු කෙනා..
"ට්..ටේයෝන්......?!!!"
______________________________________
28/02/2022
(2471 Words )
මට අදහස් එන්නේ නෑ අප්පා...corryy 🫣💔
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top